Picture
බොහෝ අය අපහසුය දුෂ්කරයයි කියා බැහැර කරන භාවනාව සැබැවින්ම එවන් කර්කස දුෂ්කර වූවක් නොවේ. සිත නිවෙන අරමුණු ඇසුරට හුරු වු පුද්ගලයාට භාවනාව හරිම පහසුය. භාවනාවට නැඹුරු සිත ඒ පුද්ගලයා තුල ඇති තැන්පත් කමත්, සංවරකමත්, ප්‍රසන්න බව හා සැපය වර්ධනය කරන අතර ඒ තුලින් භාවනාමය අද්දැකීම් නිසා ඔහුට ලෞකික ලෝකයෙන් කිසිදිනෙක බලාපොරොත්තු නොවිය හැකි උතුම් නිරාමිස සැප ලබා ගත හැකි වෙයි. 

නිතර දොම්නසත් දුක් සහගත බවත් නිසා වේදනාවට පත් වෙන අභ්‍යන්තර මනෝභාවයන් බැහැර යමින් ද..ශාන්ත සංවර සුවදායී මානසික පසුතලයකට අවශ්‍ය කරන අභ්‍යන්තර මනෝභාවයන් සිත තුල රෝපනය වීම හා වැඩීම ආරම්භ කරමින්ද පවතින නිසා භාවනාවට හුරු කරන සිත නිරන්තරයෙන් තමන් තුල මහත් ශාන්ත බවක් සිහිලැල් බවක් ඇති කරනු ලබයි. 

කායික රෝගයන් බොහෝමයකට පදනම සපයනු ලබන්නේ අවුල් සහගත කැලඹුනු මනස බැවින් නිස්කලංක නිරවුල් මනසක් ඇසුරු කිරීම මුල් කරගෙන කායික නිරෝගී බව වර්ධනය වන අතර කාමච්ඡන්දාදී අභ්‍යන්තර සමතුලිත බව විනාශ කරන දුර්ගුණයන් දුර්වල කරන බැවින් හා බැහැර ලන බැවින්, භාවනා කරන තැනැත්තාගේ මානසික නිරෝගී භාවය ද නිතැතින්ම ගොඩ නැගෙන්නේ ය. භාවනාව හුදු ආගමික ඉගැන්වීමක් පමණකැයි සිතන බොහෝ අය එය කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනත් වරදවා ගත් දේවල් සේම ජිවිතයේ සවිශක්තියෙන් යුතු කාලය බැහැර ගිය පසුවය. නමුත් එයින් සිදුවන්නේ අස්වයා ගිය පසු ඉස්තාලය වැසීමටත් වඩා බැරෑරුම් පාඩුවක් බව තේරුම් ගැනීමට සිත නොයොදවන අයට වටහා ගැනීමට නොහැකි වෙනු ඇත.

භාවනාව මේ ජිවිතයේ අප ලද උතුම්ම ලාභය කරා අපව රැගෙන යන අධිවේගී මාර්ගයක් බදු බව කිව යුතුය. එබැවින් භාවනාවට සිත නැඹුරු කොට දෛනික කාලයෙන් යම් ප්‍රමාණයක් ඒ සදහා වෙන් කරවාගනිමින් භාවනා දියුණුව සදහා බාල මහළු තරුණ වැඩිහිටි සැවෝම සිතට ගත යුතු ය. භාවනාවෙන් ජිවිතය සමබර කරන අතර අතෘප්තිකරබවින් තොර තෘප්තිමත් බව කරා යෝගියාව රැගෙන යයි. අවිනිශ්චිත හැගීමෙන් මුදවා ෂ්ථාවර සංයම අධිෂ්ඨාන සීලි සිතිවිලි සිත තුල වගාකරයි. දුර්දාන්ත නොදැමුණු කම් වෙනුවට සුදාන්ත සංවර ක්‍රියාවන් තුලින් තම සැපය තව වත් වර්ධනය කරයි. මේ ආදී නොයෙක් අනුහස් වලින් යුතු භාවනාවට අප නැඹුරුවිය යුත්තේ එය ජිවිතයේ දුක් නිවාලන අමිල වු ප්‍රා යෝගික වැඩ පිළිවෙල නිසාය. භාවනා කරන්නේ කෙසේද හා ඒ සම්බ්න්ධ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබද පසු ලිපි වලින් අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.  සියළු සැප සැනසිල්ල සුවය පිණිස උතුම් තිසරණයෙහි පිළිසරණ සැම ලැබේවා. තෙරුවන් සරණයි. 

 
Picture

ජිවිත් වෙන හැගීම් දැනීම් ඇති අප හැම කෙනෙකුගේම සිත් තුල නිරන්තරයෙන් පවතින දෙයකි දුක සහ සතුට. මේවා විටින් විට මනසේ ඉඩ ලබා ගනිමින් ඉදිරියට ඇදෙයි. විටෙක සිත දුකින් වැසී යන අතර තව විටෙක සිත සතුටින් පිරී යයි. මේ දෙකට දෙයාකාර වටිනා කමක් දෙන අපි සතුටු මොහොතක අනිත් හැම දෙයකටම වඩා ලොකු වටිනාකමක් ඒ සතුටට ලබා දෙමින් කටයුතු කරමු. දුක් සහගත මොහොතක ඒ දුක් තැවුල් ගැන සිතා දුක් වෙමු. මේ අපේ උරුමය නොව අප සිතන පිළිවෙලේ ඇති වරදයි. මෙය වටහා ගන්නේ යම් දිනෙකද එදිනට අප සතුටිනුත් දුකිනුත් අත් මිදෙන්නෙමු.

කරුණු එසේ වුවත් ජිවිත මාවතේ පියමං කරන අපට ඒ තුල හමුවෙන , දුක සහ සතුට පිළි නොගෙන නොසිටිය හැකිය. අප ඒවා පිළිගනිමින්ද ,  ඒවාට නොයෙක් වටිනාකම් ලබා දෙමින් එකක් තබා ගන්නට වෙර දරමින් තව එකක් බැහැර කරමින්ද, කටයුතු කරන්නේ වෙහෙසට පත් වන්නේ ඒ නිසාය. අපි තවමත් ජිවිතය ගැන , දුක සතුට ගැන අවබෝධයෙන් තොරව වාසය කරන්නෙමු. ගැටළුව ඇත්තේ එබැවිනි. දුක සේම සතුටත් සිත තුලම ඇති වී සිත තුලම නැති වී යන ධර්මතාවයකි. කොටින්ම කියතොත් ඒවා කොයි ආකාර වෙනස් කම් වලින් යුතු වුනත් ඒවා සිතිවිලිය. ඒ මනෝභාවයන් පිටින් විවිධ ස්වරූපයෙන් පෙනුනද ඒවා අභ්‍යන්තරයෙන් එක සමාන වේ. 

ඒවා තුල ඇති විවිධත්වය සේම සමානත්වය අප හදුනාගන්නට උත්සාහ කළ යුතු නොවේද..? එසේ නොමැති නම් අපට කිසි දිනෙක දුක හා සතුට වටහා ගත නොහැකි වන අතර ඒවා නිසා මනස තුල ඇති වෙන කැළඹීමෙන් ද නිදහස් විය නොහැකිය. අප දුකට පත් වෙමු. සතුට ඇති කරගනිමු. ඒවා අතර අතරමං වෙමු. නමුත් අප යථාර්ථයට සවන් නොදෙන තාක් කල් එම දුක සතුට අතර ඇති මායාවෙන් කිසිදිනෙක නිදහස් නොවනු ඇත.

Picture
බුදු රජාණන් වහන්සේ මේ මනෝභාවයන් ගැන කල්පනා කළ යුතු අයුරු දේශනා කොට වදාළ සේක. ඒවා ගැන හුදු එකම අකාරයකට කල්පනා කරන ලෙස බුදුන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන් සේක. දුක ඇති වු විට එයත් , සතුටක් ඇති වු විට එයත් , හේතුන් නිසා හටගත් බව හා හේතු නැතිවීමෙන් නැතිවී යන බවටත් ඒවා දෙස ගැඹුරින් බලා වටහා ගන්නට වදාළ සේක. ඒ සියළුම ආකාර වු මනෝභාවයන් කාලයට හා අවකාසයට අයත් බව වදාරණ බුදු රජාණන් වහන්සේ අනිත්‍යය ලෙසට දුක සේම සතුට දෙසටත් නෙත් යොමන්නට උපදෙස් දුන් සේක. අනිත්‍ය වු ස්භාවයට අයත් දැයක සැපයක් බලාපොරොත්තු නොවිය හැකි බැවින් ඒවා දුක් වසයෙන්ම හදුනා ගන්නා ලෙසටද වදාළ බුදු රජාණන් වහන්සේ මේ සියළුම ආකාර වු දුක් සහගත හෝ සතුටුමුසු මනෝභාවයන් , හේතුන් නිසා හටගෙන හේතු නැතිවී යාමෙන් නැතිවී යනු විනා අපට ඕනෑ ඇයුරින් පවත්වා ගත නොහැකි අනාත්ම ස්භාවයෙන් යුතු බව වටහා ගන්නා ලෙසටද තම ශ්‍රාවකයාව මෙහෙයවා වදාළ සේක.

එබැවින් මෙත් සිතින් යුතුව පවසමි. හැම විටම සිත තුල ඇති වෙන හැගීම් දාමයෙහි බැදී වෙලී පැටවී වෙහෙසට පත් නොවී යහතින් පසුවන්නට ඔබ පුරුදු විය යුතුය. කාලයට හා අවකාසයට අයත් දෑට නොයෙකුත් වැරදි කල්පනාවන් ඔස්සේ වැරදි වටිනාකම් ලබා දෙමින් ඒවා මත දුක් ගෙන දෙන සිතිවිලි ඇති කර නොගෙන වාසය කරන්නට පුරුදු විය යුතුය. ජිවිතය විදවිය යුතුව ඇත්තේ මේ වැරදි සහගත කල්පනාවන්ගෙන් අප නොමිදෙන නිසා බව ඔබ වටහා ගත යුතුය.

සිතන්න මොහොතක් උපන් දා සිට ඇලීම් බැදීම් මුල් කරගෙන කොතෙක් වාර වල සිත දුකට හා සතුටට පත්ව ඇද්ද...අප ඒවා මත කෙතරම් සින සෙන්නට අඩන්නට ඇද්ද...මෙනෙහි කරන්න ඒ හැම දෙයක්ම වෙනස්වී ගොසින් සිතා බලන්න ඒ සියළු දේවල් දැන් අතීතයට ගිහින් ඒවාට එදා දුන් වටිනාකම් භාගයක්වත් අද අපි ලබා දෙන්නේ නෑ ඉතිං මේ හැම වර්ථමාන මනෝභාවයකටම සිදුවන්නේත් ඒ ටිකම නොවේද...සිතන්න නුවණින් මෙනෙහි කරන්න. දුක් විදින සිතිවිල්ලෙන් එවිට ඔබට නිදහස් විය හැකිය. ඔබ දුක් විදින්නේ ඔබ සිතන පිළිවෙලේම ඇති වරදක් නිසා මිස ඔබ වටා සිටින අය ඔබට කල කී දෙයක් නිසා නොවන බව ඔබ වටහා ගන්නේ කවදාද....? යහපතක් ම වේවා. තෙරුවන් සරණයි 




 

ඔබට පුණ්‍යවන්ත වු සුබ උපන් දිනයක් වේවා. තෙරුවන් සරණයි.

උපත හා මරණය අතර කාලයටත් අවකාසයටත් අයත් වු යමක් වෙද්ද ඒ වනාහී අපගේ ජිවිතය ලෙස අර්ථ දැක්වීය හැකිය. ජිවිතය ගැන අප එසේ සිතුවද එහි උපතින් එහා දෙයක් හා මරණයෙන් පසු සම්බන්ධතාවයක්ද ඇත්තේ ය. එතරම් දුරකට සිත් නොහෙලිය හැකි අපට ජිවිතය යනු උපත හා මරණය අතර කාලය පමණි. 

කෙලෙසක හෝ අප උපන් බැවින් අද අප ජිවත් වෙමු. ජිවිතය ගත කළ හැකි ක්‍රම දෙකකි. එකක් අවබෝධයෙන් යුතුව ජිවත් වීම හා අනෙක ජීවත් වෙන්නන් වාලේ ජිවත් වීමය. මේ දෙකින් දෙවැන්න අනුගමනය කරන තැනැත්තාගේ ජිවිතය බොහෝ දුක් තැවුලෙන් පිරිණු පුංචිම දේටත් මහා දුකක් ඇති කරන්නේ ය. මක්නිසාද වැරදි සහගත දැක්ම හා චින්තනය ඔහු හෝ ඇය  සිදුවීම් හා දේවල් අතර මහත් වෙහෙසකට පත් කරවන බැවිනි. 

නමුත් පලමු වැන්නා අවබෝධයෙන් යුතුව කටයුතු කරන අතර ඔහු ජිවිතයේ දුකත් සතුටත් ගැන යම් වැටහීමකින් යුතුව කටයුතු කරන්නෙකි. දුක හා සතුටට දිය යුතු නිසි වටිනාකම ලබා දෙන ඒ තැනැත්තා ඒවා නිසා වෙහෙසට පත් නොවේ. අපගේ ජිවිතයේ අපට ලැබුන දේවල් වලින් සතුටු වීමට වඩා අප කර ඇත්තේ නොලැබුණ දේ ගැන සිතා දුක්වීම නොවේද.? මදක් සිතන්න. ජිවිතය තුල පවතින මායාවත් යථාර්ථයත් ඔබට තොරාගැනීම කෙතරම් වටින්නේ දැයි ඔබට වැටහෙනු ඇත.

බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ද. ආකල්ප හා දැකීම් වඩාත් නිවැරදි ලෙසට හසුරුවා ගත හැකි නම් ඒ ජිවිතය තුල අපට මහත් යහපතක් උදා කරගත හැකි බව හා ඒ නිසා බොහෝ ජිවිත ගනනාවක් වුවද යහපත් පුණ්‍යවන්ත සැපවත් බවට පත් කරගත හැකි බවය. 

අද දවසේ උපන් දිනය සමරණ සැමට මෙය දහම් තිළිණයක් වේවා යනු අපේ මෙත් ප්‍රාර්ථානාවයි. තෙරුවන් සරණයි.
 
ශ්‍රි සුමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන වාසි එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේගේ සහ එප්පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය 2012 -03-18 දිනට යෙදී තිබුනෙන් ඒ වෙනුවෙන් ගෞරවණීය සීලගවේසී ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිංවතුන් පුණ්‍ය කටයුත්තක් සංවිධානය කරන ලදි. එහිදී 17 සවස සත්බුදු පුජාවක් හා 18 දින සංඝික දානයක්ද පිරිනමන්නට කටයුතු සැලසුන අතර. එම ස්වාමීන් වහන්සේලාට කරන උපන්දින තිලිණයක් ලෙස අසල් වැසි නිවසකට ඇඹරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමටද කටයුතු යොදන ලදි. 

යොදාගත් පරිදි සියළු කටයුතු බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක වු අතර ඒ පිංකමත් සමගම ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ මූලස්ථානයෙහි කෘත්‍යාධිකාරීන් වහන්සේ හා , විංසත්වර්ගික කාරක සංඝසභාවේ සඤ්ඤාලෙඛ්ක ස්වාමීන් වහන්සේ වනඅතිපුජණීය  ත්‍රිපිටකාචාර්‍ය ත්‍රිපිටක විසාරද  කහගොල්ලේ සෝමවංස මාහිමිපාණන් වහන්සේ ද, සසුනඹර දිලෙන තරුමිණක් වැනිව බඹලන ගුණ වෘද්ධ මහා යෝගාවචර මාහිමිපාණන් වහන්සේ නමක් වන අතිපුජණීය සුල්තනාගොඩ සද්ධාසීල මාහිමිපාණන් වහන්සේගේද  වැඩම වීම සිදුවිය.

අතිපුජණීය මීතලාවේ විනීත මාහිමිපාණණ් වහන්සේ, සුල්තනාගොඩ සුදස්සන මාහිමිපාණන් වහන්සේ, වැලිමඩ ජිනාලංකාර මාහිමිපාණන් වහන්සේ හා තවත් බොහෝමයක් යෝගාශ්‍රමීය ස්වාමීන් වහන්සේලාගේ වැඩම වීම අප සෙනසුනට මහත් ආශිර්වාදයක් ගෙන දුන්නේ ය. ඒ උතුම් පුණය වන්ත දිනය සිහිගැන්වීම පිණිසත් , ඒ දැක සතුටු සිත් උපදවා ඔබට පිං අනුමෝදන් වීම පිණිසත්  2012-03-18 නමින් පොටො ඇල්බම් එකක් මෙම අඩවියෙහි ඇල්ම් කොටසෙහි පලකර ඇත්තෙමු. පහත සදහන් යොමුවට පැමිණ බැතිසිතින් දැක බලා සතුටු සිත් ඇතිව පිං අනුමෝදන් වෙත්වා.

තවද මේ උතුම් පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම පිණිස දිවයිනේ නන්දෙස වසන සැදැහැවතුන් පමණක් නොව විදේශගතව වසන පිංවත් සැදැහැවතුන්ගේද සහයෝගය ලැබුණ බවත් ඒ සියළු දෙනා මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන ලද එම පරිත්‍යාගයන් ඔවුන්ට මෙලොව පරලොව දෙලොව යහපත සැපත හා ශාන්ත අමා නිවන් සුවය පිණිසම පවතීවා යන පැතුමත් මෙහිලා සිහිපත් කරම්හ. පිංතුර බැලීමට මෙතැනින් හො පොටො එක මත ක්ලික් කීරීමෙන් පිවිසිය හැකිය. 

 
Start blogging by creating a new post. You can edit or delete me by clicking under the comments. You can also customize your sidebar by dragging in elements from the top bar.