Picture

ජිවිත් වෙන හැගීම් දැනීම් ඇති අප හැම කෙනෙකුගේම සිත් තුල නිරන්තරයෙන් පවතින දෙයකි දුක සහ සතුට. මේවා විටින් විට මනසේ ඉඩ ලබා ගනිමින් ඉදිරියට ඇදෙයි. විටෙක සිත දුකින් වැසී යන අතර තව විටෙක සිත සතුටින් පිරී යයි. මේ දෙකට දෙයාකාර වටිනා කමක් දෙන අපි සතුටු මොහොතක අනිත් හැම දෙයකටම වඩා ලොකු වටිනාකමක් ඒ සතුටට ලබා දෙමින් කටයුතු කරමු. දුක් සහගත මොහොතක ඒ දුක් තැවුල් ගැන සිතා දුක් වෙමු. මේ අපේ උරුමය නොව අප සිතන පිළිවෙලේ ඇති වරදයි. මෙය වටහා ගන්නේ යම් දිනෙකද එදිනට අප සතුටිනුත් දුකිනුත් අත් මිදෙන්නෙමු.

කරුණු එසේ වුවත් ජිවිත මාවතේ පියමං කරන අපට ඒ තුල හමුවෙන , දුක සහ සතුට පිළි නොගෙන නොසිටිය හැකිය. අප ඒවා පිළිගනිමින්ද ,  ඒවාට නොයෙක් වටිනාකම් ලබා දෙමින් එකක් තබා ගන්නට වෙර දරමින් තව එකක් බැහැර කරමින්ද, කටයුතු කරන්නේ වෙහෙසට පත් වන්නේ ඒ නිසාය. අපි තවමත් ජිවිතය ගැන , දුක සතුට ගැන අවබෝධයෙන් තොරව වාසය කරන්නෙමු. ගැටළුව ඇත්තේ එබැවිනි. දුක සේම සතුටත් සිත තුලම ඇති වී සිත තුලම නැති වී යන ධර්මතාවයකි. කොටින්ම කියතොත් ඒවා කොයි ආකාර වෙනස් කම් වලින් යුතු වුනත් ඒවා සිතිවිලිය. ඒ මනෝභාවයන් පිටින් විවිධ ස්වරූපයෙන් පෙනුනද ඒවා අභ්‍යන්තරයෙන් එක සමාන වේ. 

ඒවා තුල ඇති විවිධත්වය සේම සමානත්වය අප හදුනාගන්නට උත්සාහ කළ යුතු නොවේද..? එසේ නොමැති නම් අපට කිසි දිනෙක දුක හා සතුට වටහා ගත නොහැකි වන අතර ඒවා නිසා මනස තුල ඇති වෙන කැළඹීමෙන් ද නිදහස් විය නොහැකිය. අප දුකට පත් වෙමු. සතුට ඇති කරගනිමු. ඒවා අතර අතරමං වෙමු. නමුත් අප යථාර්ථයට සවන් නොදෙන තාක් කල් එම දුක සතුට අතර ඇති මායාවෙන් කිසිදිනෙක නිදහස් නොවනු ඇත.

Picture
බුදු රජාණන් වහන්සේ මේ මනෝභාවයන් ගැන කල්පනා කළ යුතු අයුරු දේශනා කොට වදාළ සේක. ඒවා ගැන හුදු එකම අකාරයකට කල්පනා කරන ලෙස බුදුන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන් සේක. දුක ඇති වු විට එයත් , සතුටක් ඇති වු විට එයත් , හේතුන් නිසා හටගත් බව හා හේතු නැතිවීමෙන් නැතිවී යන බවටත් ඒවා දෙස ගැඹුරින් බලා වටහා ගන්නට වදාළ සේක. ඒ සියළුම ආකාර වු මනෝභාවයන් කාලයට හා අවකාසයට අයත් බව වදාරණ බුදු රජාණන් වහන්සේ අනිත්‍යය ලෙසට දුක සේම සතුට දෙසටත් නෙත් යොමන්නට උපදෙස් දුන් සේක. අනිත්‍ය වු ස්භාවයට අයත් දැයක සැපයක් බලාපොරොත්තු නොවිය හැකි බැවින් ඒවා දුක් වසයෙන්ම හදුනා ගන්නා ලෙසටද වදාළ බුදු රජාණන් වහන්සේ මේ සියළුම ආකාර වු දුක් සහගත හෝ සතුටුමුසු මනෝභාවයන් , හේතුන් නිසා හටගෙන හේතු නැතිවී යාමෙන් නැතිවී යනු විනා අපට ඕනෑ ඇයුරින් පවත්වා ගත නොහැකි අනාත්ම ස්භාවයෙන් යුතු බව වටහා ගන්නා ලෙසටද තම ශ්‍රාවකයාව මෙහෙයවා වදාළ සේක.

එබැවින් මෙත් සිතින් යුතුව පවසමි. හැම විටම සිත තුල ඇති වෙන හැගීම් දාමයෙහි බැදී වෙලී පැටවී වෙහෙසට පත් නොවී යහතින් පසුවන්නට ඔබ පුරුදු විය යුතුය. කාලයට හා අවකාසයට අයත් දෑට නොයෙකුත් වැරදි කල්පනාවන් ඔස්සේ වැරදි වටිනාකම් ලබා දෙමින් ඒවා මත දුක් ගෙන දෙන සිතිවිලි ඇති කර නොගෙන වාසය කරන්නට පුරුදු විය යුතුය. ජිවිතය විදවිය යුතුව ඇත්තේ මේ වැරදි සහගත කල්පනාවන්ගෙන් අප නොමිදෙන නිසා බව ඔබ වටහා ගත යුතුය.

සිතන්න මොහොතක් උපන් දා සිට ඇලීම් බැදීම් මුල් කරගෙන කොතෙක් වාර වල සිත දුකට හා සතුටට පත්ව ඇද්ද...අප ඒවා මත කෙතරම් සින සෙන්නට අඩන්නට ඇද්ද...මෙනෙහි කරන්න ඒ හැම දෙයක්ම වෙනස්වී ගොසින් සිතා බලන්න ඒ සියළු දේවල් දැන් අතීතයට ගිහින් ඒවාට එදා දුන් වටිනාකම් භාගයක්වත් අද අපි ලබා දෙන්නේ නෑ ඉතිං මේ හැම වර්ථමාන මනෝභාවයකටම සිදුවන්නේත් ඒ ටිකම නොවේද...සිතන්න නුවණින් මෙනෙහි කරන්න. දුක් විදින සිතිවිල්ලෙන් එවිට ඔබට නිදහස් විය හැකිය. ඔබ දුක් විදින්නේ ඔබ සිතන පිළිවෙලේම ඇති වරදක් නිසා මිස ඔබ වටා සිටින අය ඔබට කල කී දෙයක් නිසා නොවන බව ඔබ වටහා ගන්නේ කවදාද....? යහපතක් ම වේවා. තෙරුවන් සරණයි 




 


Comments




Leave a Reply